දහසක් විහාරස්ථාන ගොඩනගා ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ තේමාව යටතේ අපට තවත් අසිරිමත් සසුන් කෙතක් අස්වැද්ද වීමට හැකියාව උදාවිය. ඒ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ පිහිටා ඇති පිච්ච මල් විහාරයේය. ගාමිණී අභය මහා රජු ථූපාරාම සෑ රජුන් වෙත පූජා කිරීම උදෙසා පිච්ච මල් වගා කර අශ්ව කරත්ත ඔස්සේ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පිච්චමල් විහාරයේ සිට අනුරාධපුරය වෙත ගෙන ගොස් ඇත. ලොවක් මවිත කළ ස්වභාවික වරායක් මෙම විහාර භූමියේ අතීතයේ පිහිටා තිබී ඇත. එමෙන්ම සොළොස්මස්ථානයට අයත් සියලු ස්තූපයන් ගලක කොටා තිබෙන ලෝකයේ එකම ස්ථානය ද මෙම විහාරය වේ. එමෙන්ම මගුල් ලකුණින් සුසැඳි අසිරිමත් සිරිපතුල් ගලද හමුවන එකම විහාරස්ථානය ද මෙය වේ. එමෙන්ම තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන් කේශ ධාතූන් වහන්සේලා මුලින්ම වැඩම කළ ස්ථානය ද මෙම විහාරය බව සඳහන් වේ. මෙම අසිරිමත් සුවිශේෂී ඉතිහාසයක් හා ආගමික පරිසරයක් සනිටුහන් වන මෙම විහාරයේ ඉතා වටිනාම වැදගත්කම වන්නේ මෙම විහාරයේ මුහුදු රළ ස්පර්ශ වන කටාරම් කෙටූ ගල්ලෙනක් පිහිටා තිබීමයි. මෙම කටාරම් කෙටූ ගල්ලෙනේ අතීතයේ රහතන් වහන්සේලා භාවනා යෝගීව වැඩ වාසය කළ බව සෙල්ලිපි මගින් සනාථ වී ඇත. පසුගිය දිනක මෙම විහාරයට පැමිණි අවස්ථාවේ අප හට මෙම ගල්ලෙන දැකීමෙන් පසු අප සිතට නැගුනේ මෙම ගල්ලෙන නැවතත් සකසා අර්ය් මහා සංඝරත්නයට පූජා කිරිමට අවස්ථාව ඇත්නම් කොයිතරම් වාසනාවක් ද කියාය.
අපගේ පවිත්‍ර චේතනාව මල්ඵල දරමින් මෙම කුටිය සකස් කිරීමේ මූලික කටයුතු රාජිත මිතුරාගේ මූලිකත්වයෙන් 2017.11.05 වන දිනයේ ආරම්භ කීරීමට අප හට අවස්ථාව උදා විය. බොහෝ පිරිසක සහභාගීත්වය හේතුවෙන් මෙම කුටිය සකසා ආර්ය මහා සඝ රුවන වෙත පූජා කිරීමේ අවස්ථාව 2017.11.11 වන දින අපට හැකි විය. ස්වාමින් වහන්සේට සුවපහසු ලෙස භාවනා කටුතු සිදුකිරීම පිණිස ආසනයක්ද සකසා ගල් ලෙනෙහි සිදුරු වැසෙන පරිදි සිමෙන්ති යොදා ආරක්ෂාවද සපයා, පැති බැම්ම සහ ඒ බැම්ම සඳහා අවශ්‍ය දැල් ද යොදා දොර උලුවහු සවිකොට සම්පූර්ණ කුටියක් ශ්‍රද්ධාවෙන්ම සකස් කලෙමු. මෙම පින්කමෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම උදෙසා මූල්‍යමය දායකත්වය දැරූ සියලු පිරිසට මෙන්ම අප්‍රමාණ කැපවීමෙන් මෙය සාර්ථක කර ගැනීමට උරදුන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , අපමණ කැපවීමෙන් කාය පූජාවෙන් මේ උතුම් පින්කමට සම්බන්ධ වූ සියලු කල්‍යාණ මිත්‍රයන්ට ද ස්වාමින් වහන්සේට ද ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා !
කුටි පූජාවේ ආනිශංස
නළ කුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.
(නළකුටි දායක ථෙරාපදානය https://pitaka.lk/main?n=47179)
නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.
(නළාගාරික ථෙරාපදානය https://pitaka.lk/main?n=46445)
තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,
තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.
උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.
බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.
සිංහ, ව්යාඝ්ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.
සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.
(තිණකුටිදායක ථෙරාපදානය https://pitaka.lk/main?n=46437)
අවසානයේ අප බුදු සසුනේ දී ශාන්ත නිවන් සුවයට පත් වීමට ඒ පින හේතු වුණා. ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
(කිංදද සූත්‍රය https://pitaka.lk/main?n=211050)
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.