පිළිවෙත් පුරන මහා සංඝරත්නය වෙනුවෙන් ප්රත්යයන්ගෙන් උපකාර කරමින් නිවන් මාර්ගය පරිපූර්ණ ලෙස වැඩීමට උන්වහන්සේලාට අපගේ කාය ද්වාරයෙන්, මනෝ ද්වාරයෙන්, වචී ද්වාරයෙන් උපකාර කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , තවත් භාග්‍යයක් වන්නේ ස්වාමින් වහන්සේලාට පරිපූර්ණ ලෙසම ප්‍රතිපත්ති පූජාවේ ගමන් කිරීමට ලැබෙන වටිනාම කාලය වූ වස්සාන සමයක ස්වාමීන්වහන්සේලාගේ සක්මන් භාවනාව සිදුකිරීම සඳහා උපකාරී වන සක්මන් මලුවක් සකසා පූජා කිරීමට අපට හැකි වීමයි.ලබුනෝරුවකන්ද සෙනසුනේ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල ඉදිකරමින් පවතින කුටි සෙනසුනට සමගාමීව අපගේ දෑතින්ම සක්මන් මලුවක් සකසා පූජා කිරීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද,..
කැලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සඳහා මනාව සකස් කළ සක්මන් මලු භාවනා කටයුතු දියුණු කරගැනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ. අතීතයේ රහතන් වහන්සේලා බහුල වශයෙන් බවුන් වැඩීමේදී භාවිතා කරමින් අඛන්ඩ චිත්ත ඒකාග්‍රතාවක් පවත්වා ගැනීමට හේතු වූ මෙම සක්මන් භාවනාව අතීතයේ “විතර්ක භාවනාව” ලෙසද හදුන්වා ඇත. සිහිය පවත්වා ගනිමින් දහම් කාරනා නැවත නැවත ආවර්ජනය කිරීමට ද මෙම සක්මන මනාව උපකාරී වේ. භාවනාව ප්‍රගුණ කර වැඩි හිටි ස්වාමින් වහන්සේලා උදෙසා දිගින් වැඩි මෙම “මහාථේර සක්මන් මලුව” වඩාත් උපකාරී වන අතර, භාවනාවට ආධුනික යෝගාවචරයන් වහන්සේලා බොහෝ වේලාවට භාවිතා කරනුයේ සාමාන්‍ය සක්මන් මලු වේ. ඒ දිගන් වැඩි වීම චිත්ත ඒකාග්‍රතාව බොහෝ වේලාවක් පවත්වා ගැනීමට ආගන්තුක හිමිවරුන් හට අපහසු වීමයි.
දිනය පුරා වෙහෙස මහන්සි වී භූමිය පවිත්‍ර කර මනාව භූමිය සකසා, මුල් ඉවත් කර , සමතලා කර සිමෙන්ති යොදා මනාව සක්මන් මලුව සැකසූවෙමු. දුර බැහැර සිට වැලි , සිමෙන්ති , ගල් ගෙනවිත් බුදුගුණ සිහිකරමින්ම ශ්‍රම පූජා සිදුකළෙමු. අවසානයේ සියලු කටයුතු සාර්ථකව නිම කර සක්මන් මලුව සකසා සඝ රුවනට පූජා කළෙමු. ගම් දනව් සිසාරා සැරිසරමින් ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැල විසින් ශ්‍රම පූජාවෙන් සකස් කළ මෙම සක්මන් මලුව සැකසීමෙන් හා අනේක විද පින්කම් මාලාවෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු දෑ සම්බන්ධ කරදෙමින් මෙහි මූලිකත්වය ගත්
තුලක්ශි ගමගේ අක්කා ඇතුලු එම පවුලේ සියලු පිරිසටද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද ,
එමෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද ,
පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා!
සක්මන් මළු ඉදිකර පූජා කිරීමේ පුණ්‍ය විපාක
ආයුශ්මත් කොටිකණ්ණ මහරහතන් වහන්සේ පෙර කර තිබුණු සුවිශේෂීම පිංකම සක්මන් මළු පූජාවයි.
මේ තෙරුන් වහන්සේ කලින් භවයන් වලදී බුදුපියාණන් වහන්සේලා මුණගැසී තිබිණි. එහෙත් නිවන් දකින්නට හේතු සම්පත් මදි වී තිබුණි. නිවන් දකින්නට පින් කරමින් සිටි මේ තෙරුන් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක කුලවත් නිවසක ඉපදුණි. ඉතා ධනවත් කෙනකු වූ මෙතුමා අඹුදරුවන් සමඟ බොහෝ පින්කම් කළේය.
අනෝමදස්සී බුදු පියාණන් වහන්සේට සක්මන් කරන්නට අලංකාර සක්මන් මළුවක් ඉදි කළ මෙතුමා එහි සුදුහුණු ගෑවේය. සක්මන් මළුව පූජා කරන දිනයේහිදී මල් පහන් සුවඳ දුම් වලින් සරසා බුදුපාමොක් මහා සංඝරත්නයට ප්‍රමිත මහා දානයක් දුන්නේ ය. තමන් මිය යන තෙක්ම මහා පින්කම් කර ගත් එතුමා මරණින් පසු ඉපදුනේ දෙව් ලොවයි.
දිව්‍ය සම්පත් විඳ අප බුදුපියාණන් වහන්සේ පහළ වන කාලයෙහි ඔක්කාක රජ කුලයෙහි උපත ලැබුවේය. කෝලිය වංශික රාජ කුමාරයෙක් වූ මෙතුමා කෝටියක් වටිනා රත්තරන් පළඳනාවක් කන් දෙකට දැම්මේය. ඒ නිසාම කෝටි “කොටිකණ්ණා” ” කුටි කණ්ණා” ලෙස ප්‍රසිද්ධ විය.
අප භාග්‍යවතුන් වහන්සේ ගැන ඉතාම පැහැදුණු කොටිකණ්ණ කුමරු ඉතාම ශ්‍රද්ධාවෙන් පැවිදි විය. පෙර භවයේ හේතු සම්පත් නිසාම විදර්ශනා වඩා ටික දිනකින් ම රහත් විය.
තමන් වහන්සේගේ අතීත භවයන් සිහි කරන තෙරුන් සක්මන් මළු පූජාව නිසා ලැබුණු දෙව් මිනිස් සැප සහ නිවනට හේතු සම්පත් ලැබුණු හැටි විස්තර කළහ. (අපදාන කථා, කොටිකණ්ණ ථේරපදානය )
සාධු සාධු සාධු!
තෙරුවන් සරණයි!
* අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේගේ පිංකම්හි ආනිසංස පොතෙන් උපුටා ගන්නා ලදී…*
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.