ශාක්‍යකුල තිලක සම්මා සම්බුද්ධරාජ වූ අප මහා භාග්‍යවතුන් වහන්සේ උදෙසා එළඹෙන මැදින් මස සත්වන ශනි දින බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ සුමධුර ස්වරයෙන් දේශනා කිරීමට නියමිත “සම්බුදුවරුණ” තුන් යම් රාත්‍රී බුදුගුණ දේශනාවට සමගාමීව වැදිපරපුරෙහි වත්මන් නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රධාන කොට ඇති ආදිවාසී වැදි ජනතාව විසින් එදින රාජකීය පෙරහරින් වැඩමවනු ලබන මී පැණි පුජාව මහත් බැතියෙන් යුතුව මහා මහියංගන චෛත්‍යරාජයාණන් වහන්සේ උදෙසා සිදුකිරීමට නියමිතය..
එම අසිරිමත් පින්කම සඳහා ආදිවාසී ජනතාව වෙත “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල සන්නස් පූජා කරමින් පසුගිය දිනක ආරාධනා කරන ලදී..
පෙර සම්බුදු සසුන්හි පාරමී ධර්ම පුරණය කළ මහා ක්ෂිනාශ්ර්වයන් වහන්සේලා අතරින්, මොඝරාජ මහරහතන් වහන්සේ යම්සේ බුද්දකමධු (දඬුවෙල්බෑ මීපැණි) සැළියක් පුරවා දොහොතින් ගෙන ගොස් අත්ථදස්සි බුදුරජානන් වහන්සේට පිළිගන්වන ලදින් ඒ මහා මහර්ෂි වූ මහාවීර වූ බුදුරජතෙමේ මී වළඳා නිමි කොට අහසට නැංගේ, අහසෙහි සිටියා වූ නරශ්‍රෙෂ්ඨ වූ අත්ථදස්සි ශාස්තෘ තෙමේ වදාළ වූ පරිදිම, මෙතෙමේ මේ දුන් මී පැණි දානයේ අනුහසින්තු, තුදුස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය, අටසිය වරක් පෘථිවී රාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේ ය, ඉක්බිති පන්සියවරක් සක්විතිරජ වන්නේ ය, පෘථිවියෙහි අසඞ්ඛ්යවාර ගණනක් ප්‍රාදේශීය රාජ්‍යය කරවන්නේ ය, මතු වත් හෙතෙමේ, ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ, ගැඹුරු වූ සියුම් වූ අර්ත්ථ නුවණින් දැනගන්නේ, සියලු කෙලෙසුන් නසා මතු නමින් මොඝරාජ ය යි බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය යනුවෙන් වදාරන ලද්දේය. (සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය, අපදාන පාලි – භික්ඛූ අපදාන, කුණ්ඩධාන වර්ගය, මොඝරාජස්ථවිරවදානය)
එසේම, මධුදායක මහරහතන් වහන්සේ උදානයෙහි වදාලා වූ පරිද්දෙන් පෙර සම්මා සම්බුදු සසුනක උතුම් මධුදානය හේතු කොට ගෙන, දෙව් මිනිස් දෙගතියෙහි සියලු කාමසම්පත්තීන්ගෙන් සමෘද්ධයෙක් ව ඒ මධුදානබලයෙන් ම ආස්රවක්ෂයසඞ්ඛ්යාත නිවණට ද පැමිණියේය. (සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය, අපදාන පාලි – භික්ඛූ අපදාන, පිළින්දවච්ඡ වර්ගය, මධුදායක ස්ථවිරාවදානය)
මධුමංසදායක මහා රහතන් වහන්සේ උදානයෙහි පැවසු පරිද්දෙන් පෙර භවයක මීපැණි වත් මාංශ දානයක් බුද්ධ ප්රමුඛ වූ භික්‍ෂුසඞ්ඝයාට දුන් පින් මහිමයෙන් හා කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ (දිව්‍ය මනුෂ්‍ය) ද්විවිධ සම්පත් අනුභව කොට අන්තිම භවය පවත්නා කල්හි ක්ලෙශයන් දවා මහා රහත් පදවි ලද්දේය. (සූත්‍ර පිටකය, ඛුද්දක නිකාය, අපදාන පාලි – භික්ඛූ අපදාන, භද්දාලි වර්ගය, මධුමංසදායක ස්ථවිරාවදානය)
එසේ වූ මහත් පල මහානිසංස දායක වූ උතුම් පුජාවක් “සම්බුදුවරුණ” පින්කම් මාලාවෙහි දී සිදුකිරීමට නියමිතය। ඔබත් බැතියෙන් යුතුව “සම්බුදුවරුණ” හා ඒකාත්මික වන්න..
“සම්බුදුවරුණ ” පින්කම සදහා සම්බන්ධ වීමට කැමති පින්වතුන්,
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.