බොහෝ කල් හිතසුව පිණිස පවතින කුසල් සිත් නිරන්තරයෙන් ජනිත කිරීමට උපකාර වන අසිරිමත් පින්කමක් වස් කාලය අවසානයේ අපට සිදුකර ගැනීමට හැකි වූවා. ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කඨින පින්කම උදෙසා කඨින චීවරයක් පඬු ගසා සකස් කිරීමට අපට හැකි විය. මහෝගනී පොතු, කොස් පොතු, සැවැන්දරා, අරළු යොදාගනිමින් අදාළ සියලු දේ එක් රැස් කර විනයානුකූලව අපගේ දෑතින්ම කඨින චීවරය පඬුපොවා සකස් කිරීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද ,
පඬු පෙවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,
- මහෝගනී හෝ කොස් පොතු
- සැවැන්දරා, අරළු
- පඬු ඔරුව
- විනයානූකූලව මසන ලද චීවරය
පඬුපොවන ආකාරය
01. පළමුව මේ සඳහා (කොස් පොතු/මහෝගනී පොතු ) ඉතාමත් සිහින් ලෙස කොටා එම කොටාගත් මහෝගනී බොහෝ වෙලාවක් තම්බා ගැනීම සිදු කළ යුතුවේ.
02. ඉන්පසු චීවරය මනාව ඔතා පඬු ඔරුවේ තැන්පත් කළ යුතුවේ.
03. ඉන්පසු තම්බාගත් මහෝගනී දියර පෙරහන්කඩයකින් පෙරමින් මනාව චීවරය මතට දමන අතර ඒ කාලයේදීම චීවරය රෝල් කරමින් පඬු ඔරුවේ ඉදිරියට ගෙන ආ යුතුය.
04. එලෙසම අනෙක් පස ද පඬු තවරමින් රෝල් කරමින් මනාව පඬු ගැසීම සිදුකළ යුතුවේ.
05. ඉන්පසු එම චීවරය හොඳින් අව්වේ වේලා ගත යුතුවේ.
06. චීවරය වේලා නිම වූ පසු නැවත ඉහත පරිදි 3 වතාවක් හෝ 4 වතාවක් හෝ පඬු ගැසිය යුතුවේ.
මෙම පඬු ගැසීමේදී අප පඬු ඔරුව වෙනුවට භාජනයක් තුළ පඬු සකස් කර චීවරයට පඬු පෙවීම පත්තක් ආධාරයෙන් සිදුකරන ලදී.
පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා කෘමි උවදුරු වලින් තොරව ඉතා සුවපහසු ලෙස නිවන් මග වඩමින් බොහෝ කාලයක් පරිශීලනය කිරීමට මෙම විනයානුකූලව අතීතයේ චාරිත්‍රානුකූලවම පඬු පොවන ලද චීවරයන් උපකාරී වනු නිසැකය.
මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කමට අපව සම්බන්ධ කරගත් Deshanthi Kankanamage අක්කා ඇතුලු සියලු පිරිසටද , කඨින චීවරය පඬු පෙවීම සඳහා පඬු සකසා දුන් රුසිරු මිතුරා සහ නුවන් අයියා ඇතුලු පිරිසටද , ආහාරපානාදිය ලබාදෙමින් උපකාරකළ දේශාන්ති අක්කා කළන අයියා ඇතුලු සියලු දෙනාට ද , එමෙන්ම මෙම පින්කම සිදුකර ගැනීම පිණිස අපට අනුශාසනා කරමින් උපකාර කළ කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ ඇතුලු ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ සියලු ස්වාමින් වහන්සේලාට ද , අමතරතන සෙනසුනේ සියලු ස්වාමින් වහන්සේලාට ද , වචනයෙන් පවා උපකාරකළ සියලු පිරිසට ද , එමෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාට ද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා..!
තෙරුවන් සරණයි..!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.