පෞරාණික වටිනාකමකින් හෙබි විහාරස්ථානයක් වන මෙම තඹලගොල්ලෑව ශ්‍රී රංගිරි කුඩා දඹුලු රජමහා විහාරය තුළ ලංකාවේ දඬුවම් පිළිබඳ සඳහන් දැනට සොයාගෙන ඇති එකම සෙල්ලිපිය ද දක්නට ලැබේ. රහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ සිටි මෙම පුදබිමේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා , මහරහත් ධාතූන් වහන්සේලා තැන්පත් කර සකසන ලද ඉපැරණි ස්තූප දෙකක් පිහිටි බවට සාධක ඇත. ඉතින් මෙම විහාරයේ සෑ රජුන්ගේ ඉරිතැලී ගිය ස්ථාන නැවතත් සකසා , වල් බිහි වී ගිය ස්භාවය දුරු කොට , පාසි සියල්ලම ගලවා සෑය පිරිසිදුකර හුදී ජනයාට බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන ලෙස මේ සෑ රජුන් පිළිසතර කිරීමට අප සැමට හැකි විය.
තඹලගොල්ලෑව ශ්‍රී රංගිරි කුඩා දඹුලු රජමහා විහාරස්ථ ස්ථූපය මනාව පිරිසිදු කරමින් , පිළිසතර කරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව මෙම සෑ රජුන් වෙත උපස්ථාන කළෙමු. අධික වර්ෂා දිනයක් වුවද අප සෑමවිටම බුදුරජාණන් වහන්සේගේ , මහරහතන් වහන්සේලාගේ ගුණ සිහි කරමින් ම මෙම වර්ෂාවට අපගේ වීර්ය හීන වන්නට නොදී මෙම අසිරිමත් පින්කම අප සැම එක්වී සිදුකරන ලදී. ජීවිත කාලයේදී ම අපට බුදුරජාණන් වහන්සේට, මහරහතන් වහන්සේලාට මෙතරම් උපස්ථානයක් සිදුකර ගැනීමට නැවතත් අවස්ථාවක් උදාවේ යැයි සිතිය නොහැක. ඉතින් ඉතාම ශ්‍රද්ධාවෙන් සිදුකළ මෙම අසිරිමත් පුණ්‍ය කර්මයෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා
*ආහාර පාන සඳහා දායකත්වය දැරූ ගයාන් තරිඳු ඇතුලු පවුලේ සැමට ද , උදේනි මහත්මියට ද ,
*ප්‍රවාහන පහසුකම් සඳහා මූල්‍යමය දායකත්වය දැරූ සියලු දෙනාටද ,
අපට අනුශාසනා කරමින් මෙම පින්කමට උපකාර කළ තඹලගොල්ලෑව ශ්‍රී රංගිරි කුඩා දඹුලු රජමහා විහාරාධිපති , පදවි ශ්‍රී පුර ධම්මාලෝක පිරිවෙනේ අධ්යක්ෂාචාර්යය, උතුරු නුවරගම්පලාතේ උප ප්‍රධාන සංඝනායක, සද්ධර්මවාකිෂ්ඨාචාර්ය, ලෝකාර්ථාචාර්ය, අධිකරණ මහා සංඝනායක තිත්තගෝනෑවේ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාට ද
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙන සියලු දෙනාට ද , මෙම පින්කම සම්බන්ධීකරණය කර දුන් තරිදු ගයාන් ඇතුලු දායක සභාවේ කළ්‍යාණ මිතුරන්ට ද , අප්‍රතිහත කැපවීමකින් කාය පූජාවෙන් සම්බන්ධ වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතු වේවා !
❂ චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස.
✧══════•✦•══════✧
මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතී. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම සිදු කරන්නේ. නොඑසේනම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර සිදු කරන්නේ යන අදහසින් දායකත්වය ලබාදෙනවානම් ඒ තුළින් අපට අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් රැස් වේ.
මේ ගැන විශේෂ තොරතුරු ඛුද්දක නිකායට අයත් අපදාන පාලියේ සඳහන් වෙනවා. ගෞතම බුදු සසුනේ නිකෙළෙස් වූ උතුම් රහතුන් වහන්සේලා අතීතයේ උන්වහන්සේලා ගේ ජීවිත ගතකළ ආකාරය, උන්වහන්සේලා කල්ප ගණනක් ආපස්සට අතීතය දැක පෙන්වා දී තිබෙනවා. ” මම අතීතයේදී ස්ථූප රාජයාණන් වහන්සේට චක්‍රයක් පූජා කළා, වස්ත්‍රයක් පූජා කළා.
එයින් රැස් වූ පුණ්‍යස්කන්ධයේ විපාකයක් ලෙස මේ ආකාරයට දුගතියේ නොයා බොහෝ කාලයක් සුගතියේ ඉපදිලා පසුකලකදී බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලැබීමට පවා ඒ පින හේතු වූ බව.” එනිසා ස්ථුපයකට මොනයම් අයුරින් හෝ දායකත්වය ලබාදෙන සැදැවතුන්ට බොහෝ පින් එක්රැස් වීම සිදුවනවා. එපමණක් නොව තැනූ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් කෙනෙක් දැකබලා සිත පහදවා ගෙන වන්දනා මාන කළ ද එයින් බොහෝ පින් එකතු වෙනවා.
ඒ පිළිබඳව ඛුද්දක නිකායට අයත් විමාන වත්ථු හි සඳහන් වෙනවා. ” එක්තරා ස්ත්‍රියක් වැටකොලු මල් හතරක් ධාතු ස්ථුපයකට පූජා කරන්නට යෑමේදී ගව දෙනක්ගේ පහර කා මරණයට පත්වී ඒ මොහොතේදීම තව්තිසා දිව්‍ය ලෝකයේ උපත ලැබීම සිදුවනවා. ස්වර්ණ වර්ණ වූ සියලු ආභරණ ඒ වගේම සියලු වස්ත්‍ර සහිතව සෝබමාන සිරුරකින් යුතුවයි එහි ඉපදුනේ. ඇයගේ සැප සම්පත් දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා ඒ ගැන විමසද්දී ඒ දෙව්දුව පැවසුවේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ තැන්පත් ස්ථූපයකට වැටකොලු මල් පූජා කිරීමට යාමේදී කලුරිය කළ බවයි.
ඒ තුළින් රැස් වූ පුණ්‍ය විපාක තමයි මෙලෙසින් අත් විඳින්නේ කියලා. එසේ පින් එලදෙන ආකාරය විමාන වත්ථු පාලියේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. එහි තැනක සඳහන් වන ආකාරයට “දාගැබ් වහන්සේලාට, ගුණවත් සංඝයාට, ආගන්තුකයන්ට, මව්පියන්ට, වැඩිමහළු පිරිසට දන්දීමේ ගෞරව කිරීම් ආදිය කරනවා නම් මේ පුන්‍ය නිධානය කාටවත් සොරකම් කරන්න බෑ කියලා. පරලොව යද්දී එය තමාගේ පස්සෙන්ම එනවා. දෙව් මිනිසුන්ට තමන් කැමති කැමති හැම තැනම ලබා දෙන්නේ මේ පුන්‍ය නිධානයෙන් බව. ඔබ ස්ථුපයක් තැනීමට උදව් උපකාර කළ පින මේ ථේරපදානයන් කියවා මෙසේ තේරුම් ගන්න.
- පභංකර ථේරාපදානය
───────•••───────
” පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.
මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතුවල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළ ද, දර ද, වැල් ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙන ද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙන ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.
මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම් ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨ ද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩි ද, කිලාසනම් කුෂ්ඨ විශේෂය ද, අපස්මාරය ද, මීමැස්මොරය ද, විතච්ඡිකානම් කුෂ්ඨ ද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.
බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක් ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක් ද නොදකිමි.
බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක් ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.
බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක් ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේ ද පැහැපත් වූයේ ද වෙමි.
බුදුරජුන්ගේ ධාතු නිධන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක් ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.
බුදුරජුන්ගේ ධාතු නිධන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක් ද වෙයි. එනම් මාගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.
බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක් ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කළෙම් ද, ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.” - නාගසමාල ථේරාපදානය
───────•••───────
” මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිඛී බුදුරජුන්ගේ ස්තූපයට ආදර සිරතව පලෝ මලක් ගෙන තැබීමි.
මින් එක්තිස්වන කපෙහි වූ, එකල්හි යම් පුණයකර්මයක් කළෙම් ද, ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මින් පසෙළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “භූමීය” නම් සක්විති රජෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද අෂ්ඨි විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.” - සුධා පිණ්ඩිය ථේරාපදානය
───────•••───────
” සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සෑයට මා විසින් පැහැදුනු සිතින් සුණු පිඬක් දෙන ලදී. එයින් සෑය පිළිසකර කෙරිණි.
මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පින් කමක් කළෙම් ද, ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. සෑ පිළිසකරෙහි ප්රතිසංස්කරණයෙහි විපාකයයි මේ.
මින් තිස්වන කපෙහි සත් රුවනින් යුත් “පටිසංඛාර” නම් වූ සක්විති රජ කෙනෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද, අෂ්ඨ විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් සුධා පිණ්ඩිය තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.” - සපරිවාරිය ථේරාපදානය
───────•••───────
” පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවී කල්හි උන්වහන්සේගේ ධාතු නිදන් කළ මහත් සෑයක් විය. මම අති උතුම් ධාතු ගර්භයෙහි දිව රෑ දෙක්හි උවටැන් කළෙමි. පහන් සිත් ඇතිව, සොම්නස් ඇතිව එහි සඳුන් වේදිකාවක්ද කළෙමි.
මේ පුණ්‍ය කර්මයේ විපාකයෙන් දිව්‍ය වූ හෝ මානුෂීය වූ හෝ භවයෙහි උපදින කල්හි මාගේ පහත් බවක් නොවීය. මේ පූර්ව කර්මයේ මින් එක් දහස් පන්සිය වන කපෙහි මහත් බල ඇති “සමත්ත” නම් වූ ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.” - පිළින්දවච්ඡ ථේරාපදානය
───────•••───────
” සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති සොම්නස් වූ මම ස්ථූප පූජාවක් කළෙමි.
එම ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ චිත්ත ප්‍රසාදය කරණ කොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසූ දහසක් දෙවඟනෝ මාගේ සිත සතුටු කරවූහ. එම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොටගෙන මා අනුවම පවතිත්, මම අනෙක් දෙවියන් සම්පත්තියෙන් ඉක්ම වීමි. මේ ස්ථූප පූජා පුණ්යකර්මයාගේ විපාකයයි.
මම එකල්හි පස් විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති “වරුණ” නම් සක්විති රජෙක් වීමි.
මම එහි රාජ්‍ය කොට නැවත දිව්‍ය ආත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබදුම වූ භෝග සම්පත්ති තොමෝ උපන්නය.
මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. මම සියලු දෙනාටම ප්‍රිය වීමි. මේ ස්ථූප පූජා පුණ්යකර්මයාගේ විපාකයයි.
මේ භද්‍ර කල්පයේ මම මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි “
(උපුටා ගැනීමකි )
තෙරුවන් සරණයි !
සාදූ ! සාදූ ! සාදූ !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.