🔹 පඬු පෙවීම සහ එහි ආනිසංස..
යම් කෙනෙකු විමසුවහොත් මේ විශ්වයෙහි පවතින දුර්ලභ ම දසුන් ඇති වටිනාම පින්වන්ත ම වස්ත්‍රය කුමක්ද කියා…
ප්‍රතික්ෂේප කළ නොහැකි සර්ව සාධාරණ ම පිළිතුර නම්, ඒ උතුම් බුද්ධ චීවරයයි.
නොහොත් අරහත් ධජයයි..
මේ බව පාන්සකූල සඤ්ඤක තෙරුන් වහන්සේගේ කථාවෙන්ද මැනවින්ම ගත හැකිය.
▪️පාංසුකූල සඤ්ඤක තෙරැන් වහන්සේගේ කථාව.
━━━━━━━━━ •⊰►🌼◄⊱• ━━━━━━━━━
මෙයින් කල්ප අනු දෙකකට මත්තෙන්, තිස්ස නමි බුදුරජානන්වහන්සේ ලොව පහල වූ සේක. දිනක් උන්වහන්සේ පාංශුකූල චීවරය ගසක වනා විහාරයට පිවිස වැඩ උන් සේක. සතුන් මරා ජීවත් වන මිනිසෙක් දුන්න හා කඩුව ගෙන දඩයමට යන විට එම පාංශුකූල චීවරය දැක ප්‍රසන්න සිතින් මහත් ප්‍රීතියෙන් දුන්න හා කඩුව බිම තබා, බුදුන්වහන්සේ සිහිකොට එම පාංශූකූල චීවරයට දොහොත් නගා වැන්දේය. ඒ පිනෙන් ඒ තැනැත්තේ සුගතියෙන් සුගතියට යෙමින්, සසර සැරිසරා අප බුදු රජුන්ගේ සසුනේ පැවදිව රහත්ව නිවන් දුටුවේය.
අපදාන පාළියේ පාංසුකූල සඤ්ඤක තෙරැන් වහන්සේ මෙය ප්‍රකාශ කොට ඇත. “මෙයින් දෙඅනුවන කපෙහි මම පාංශූකූලට වැන්දෙමි. ඒ පිනෙන් මෙතෙක් මම දුගතියක් නොදනිමි. මෙය චිවරයට සැදැහැ සිතින් වැදීමේ විපාකයයි.”
කැලේ සතුන් මර මරා ඇවිදින වැද්දෙකුට පවා චීවරයක් දැක වන්දනා කිරීමේ කුසලයෙන් පමණක්
එසේ ආනිසංස ආනිසංස ලැබුණා නම්,
නවදහස් එකසිය අසූ කෝටි පනස් ලක්ෂ තිස් හය දහසක ගරු උපසම්පදා සීලය ක පිහිටි ගරු පැවිදි උතුමන් වහන්සේලා උදෙසා උන්වහන්සේලාගේ අප්‍රමාණ ශික්ෂා පද රාශියක් ආරක්ෂා වෙන පරිදි ඉතා මැනවින් විනයානුකූල ව සිදු කළ යුතු සහ සිදුකරන පඬු පෙවීමේ මහා පුණ්‍ය කටයුත්ත යනු?
🔸 ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පටන් අවිච්ඡින්න වූ පැවත එන චීවර පරම්පරාවෙහි මහා සම්ප්රදාය ආරක්ෂා කිරීමකි.
🔸එම ඖෂධීය පඬු නිසා උන්වහන්සේගේ සමත් සෞඛ්‍යත් ජීවිතයත් ආරක්ෂා වේ. ඒ පඬු වල ඇති ගුණය නිසා මැසි මදුරු පිහිටා ආදීන්ගේ අනතුරු වැළකී යන නිසාය.
🔸 එසේම කිසිදු බාහිර අලංකරණයක් නොමැති උතුම් අරහත් ධජය එසේ විනයානුකූලව දරා සිටීම තුළ ශ්‍රමණ ෂා රූපය මැනවින් බබළවන අතර උන්වහන්සේගේ සීලයද චීවරයේ සම්බන්ධ බොහෝ අනේකප්‍රකාර ශික්ෂා පද ආරක්ෂා වීම හේතුවෙන් මැනවින් සුරක්ෂිත වේ.
🔸 එසේ මැනවින් සීලය සුරක්ෂිත වන නිසා සමාධිය මැනවින් වැඩි උන්වහන්සේගේ පැවිදි කිස ද ඉතා හොඳින් මුදුන් පත් වීමටම උපකාරී වේ.
🔸 මේ මහා පුණ්‍ය කර්මය මහත් අවබෝධයෙන් සැදැහැ සිතින් සිදු කරන්නේ නම් සසර පුරා ඉතාම වර්ණවත් ශරීරයක් ලැබීම සිදු වේ .
🔸 ඉතා උසස් කුල උත්පත්තියක් නිරතුරුවම ලැබීමට කුසල හේතු සකස් වේ.
🔸 එසේම තමන්ට අවශ්‍ය ආකාරයේ ඉතා වර්ණවත් සුන්දර වස්ත්‍රාදිය නොඅඩුවම ලැබේ.
🔸 අනේකප්‍රකාර සමාපත්තීන් ද සමවැදීමට ද කුසල් හේතු සකස් වේ.
🔸 සසර තමන්ගෙ හිත කය මැනවින් ආරක්ෂා වන පරිදි හේතු කුසලයක් නිරතුරු තමන්ට ආරක්ෂාවක් වන අතර මැසි මදුරු ආදීන්ගේ පීඩාවෙන් තොරව වාසය කිරීමටද හේතු වේ.
ඉතින්, මේ ආකාරයේ උතුම් අරමුණු රාශියක් පෙරදැරිකරගෙන සැදැහැති ගිහියන් දින ගණනාවක් නිදිමරාගෙන වෙහෙස වී කළ යුතු මේ පුණ්‍ය කටයුත්ත පිළිබඳව නිවැරදි බවත් එහි ඇති පුණ්‍යවන්ත බවත් දත යුතුමය.
ලඟ ලඟ එන්නේ සැදැහැතියන් මහත් ආනිශංස උදාකරගන්නා වූ වාසනාවන්ත වූ කඨින චීවර පූජා සමයයි.
මෙවර එහි හොඳින් දැනුවත්ව සාකච්ඡාකාරීවත් සත තච්ච කාරීව මහත්ඵල ලැබෙන යෙදීමට මේ මනා දැනුමෙන් සහ අත්දැකීමෙන් සපයන මේ ධර්ම ලිපිය ඔබ සැමට අනගි යහපතක් පිණිසම හේතුවනු ඇත.
අප ප්‍රථමවම අවබෝධ කරගත යුතු දෙය නම්, පඬු ගැසීම සහ ඩයි ගැසීම යනු දෙකක් වන වග ය. චීවරය කැප වන්නට නම්, ඩයි නොගසා පඬු පමණක් ගැසිය හැකි වුවද,
පඬු නොඟසා ඩයි පමණක් ගසන සසුන් සම්ප්රදායක් නැත.
අදටත් ඇතැම් දැඩි විනයාකාමී හිමිවරු පඬු පමණක් භාවිතා කරන අතර අතිපූජණීය අවසරයි නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේද තම සිසු හිමිවරුනට එය නියම කර ඇත.
━━━━━━━━━━━━━━━━━━
🟧 නිවැරදි ක්‍රමය ලෙස, 🟧
━━━━━━━━━━━━━━━━━━
පළමුව ඩයි ගසා පසුව පඬු පොවන නිසා,
අප පළමුව ඩයි ගසන අයුරු දැනගමු.
╭────────────╮
•❖• ඩයි ගැසීම. •❖•
╰────────────╯
* වැයවෙන ඩයි ප්‍රමාණය…
▪නිවැරදි විනයානුකූල වර්ණය එන පරිදි
ඩයි ගසන්නේ මෙහෙමයි..
සාමාන්‍යයෙන් කලින් වර්ණ නොකළ අලුත්ම සුදු එක සිවුරකට ඩයිගසන්න ලුම්බිනි ඩයි පැකට් දෙකක් වැයවේ.
කලින් ඩයි ගසා ඇත්නම් එකක් වුවත් ප්‍රමාණවත්වේ.
මේ අනුව, සිවුරෙන් බාගයක් තරම් වන අඳනයටද ප්‍රමාණය ගලපා ගන්න.
╭──────────────────╮
•❖• විනයානුකූල වර්ණය •❖•
╰──────────────────╯
විනයානුකූල වර්ණ නම් එකක් නොවේ බොහොමයක් ඇත.
නමුත් බොහෝ විනයානුකූල අරණ්‍යවාසී හිමිවරුද අගයකරන සිතට දැනෙන විනයානුකූල වර්ණයක් එන ලෙස ඩයි ගසන්න නම් මෙහෙමයි මිශ්‍රණය.
▪️සුදු අලුත්ම චිවරයකට නම්,
◆ රතු ඩයි පැකට් එකයි.
◆ ගුරු ඩයි පැකට් එකකින් හතරෙන් තුනක්.
◆ කලුවර්ණය පැකට් කාලක් එකතු කරන්න.
👉 කලින් වර්ණ ගැසූ සිවුරකටනම්, මෙයින් බාගයක් පමණ වැයවන බව දත යුතුය.
කුමන මොහොතකවත්,
විනයට අකැප,
කහ, තැඹිලි, කලු වැනි වර්ණ එන ලෙස ඩයි නො ගැසිය යුතුය.
╭─────────────────────────╮
•❖• වර්ණය සකසා ගන්නා ආකාරය. •❖•
╰─────────────────────────╯
ගොඩක් හෝ පොඩ්ඩක් ජලය එකතු නොකළ යුතුය. ඩයි ගැසූ සිවුරු එම ජලයට පෙඟුණු පසු අඟලක් පමණ ජලය උඩින් ඇත්නම් ඒ නියම ප්‍රමාණය ලෙස සලකා ගන්න.
එවන් ප්‍රමාණයේ ජලයක් ප්‍රථමවම ලොකු පිත්තල හෝ යකඩ හැලියකට දමන්න. අර සඳහන් කළ ඩයි ප්‍රමාණය පොඩි භාජනයකට දමා උණු වතුර පීරිසි කොප්ප පහක්ද ලුණු පිරීසි හැඳි දෙකක්ද එයට එකතුකර හොඳින් විනාඩි පහක්වත් කලතා තේ පෙරන්න ගන්නා තරමේ කුඩා සිදුරු ඇති ගොට්ටකින් පෙරා අර ජලයට එකතු කරන්න. ඉන්පසු වතුර හොඳින් රත්කරන්න. මෙහෙම රත්වෙද්දී වතුර නටා ඒ, ඉන්පසු අර වර්ණ වූ එකතුව ජලය මත යම්කිසි තට්ටුවක සේ මතුවේ නමුත් ජලය රත්වන්න රත්වන්න එය ටිකින් ටික කුඩාවී ජලයටම මිශ්‍රවී නැතිවී යයි. මේ අතර කොසු මිටෙක ප්‍රමාණයේ අඩි පහක් හෝ හයක් දිග පිරිසුදු ලීයක් ගෙන නිතරම අර ජලය කාරු ගෑ යුතුය. වතුර නටන තෙක්ම සැර ගින්නක් දිය යුතු උවද ඉන්පසු ගින්න මධ්‍යස්ථ කළ යුතුය.
╭───────────────╮
•❖• ඩයි ගසන අයුරු •❖•
╰───────────────╯
ඩයි ගසන චීවර කපු විය යුතු අතර, අන්‍ය සිවුරු නොගත යුතුය. ඒ අකැප ගතිය නිසා පමණක් නොව ඒ නිසා ඒවා රැලිද වැටේ.
ඒ ඩයි ගසන කපු සිවුරු කලින් කැඳ තිය යනසේ හොඳින් අතුල්ලා හෝදාගෙන පසුව මඳ අව්වේ වේලා ලාවට තෙත ඇති විට ඩයි ගසන්න යොදන්න. කලින් සඳහන් කළ පරිදි ඩයි සකස් වී අවසන් වූ විට දණ්ඩද උපකාරී කරගෙන ටිකින් ටික චීවර ඒ වර්ණ ජලයට එකතු කළ යුතුය. ඉන්පසු විටින් විට අර දණ්ඩෙන් සිවුරු ජලයට ඔබමින් පැති මාරු කරමින් විනාඩි පහළවක් හෝ විස්සක් මඳ ගින්නේ තැම්බෙන්න හැර පසුව අර ලීයෙම දවටා උඩට ගෙන බේසමකට දමා ටිකක් නිවුනු පසු මිරිකා මඳ අව්වේ වේලා ගත යුතුය.
දැන් ඩයි ගසා අවසන්ය ඊලඟට පඬු ගැසිය යුතුය.
🛑 අවධානයට …
ඒ වර්ණ ගැන්වූ ජලයෙහි උෂ්ණත්වය නැතිවූ පසුවම පොළොවට එකතු කරන්න කාරුණික වන්න.
╭─────────────╮
•❖• පඬු පෙවීම. •❖•
╰─────────────╯
● පඬු පොතු සකසා ගන්නා ආකාරය.
───────•••───────
👉 මේ සඳහා යොදාගන්නේ ස්වභාවික පොතු වර්ග ය.
◐ කොස්.
◐ මහෝගනී.
◐ කලහ.
◐ කලුනුග.
වඩාත් හොඳ පොතු වර්ග වේ.
පළමුව මේ පොතු සොයා ගත යුතුය. පොතු නම් ලීමොල් වලින් ගත හැකිය. ගස් වලින් ගන්නේ නම් ගස නො මැරෙන්නට පොත්තේ සම්බන්ධය සම්පූර්ණ නැති නොවන සේ විවිධ පැති වලින් පොතු ගත යුතුය.
👉 පොතු ගත්පසු ඒ පොතුගත් තැන් වලට මැටිතබා රෙදි කඩකින් ගැට ගසන්නට ද අමතක නො කරන්න.
කෙසේ හෝ සපයා ගත් පොතු අඟලේ අඟලේ කෑලිවලට කපා හොඳින් අව්වේ එලා පැති මාරුකරමින් දින තුන හතරක් එහි තෙත කිරි ගතිය හොඳින් ඉවත්වනතෙක් වියළා ගත යුතුය.
╭───────────────────────╮
•❖• පඬු සකසා ගන්නා ආකාරය. •❖•
╰───────────────────────╯
▪️එක චීවරයකට පඬු පොවන්නේ නම්,
ජලය ලීටර් විස්සක් පමණ අල්ලන ප්‍රමාණයේ බාල්දියකින් පොතු කැබලි එකක් මුට්ටියකට දමා,
මුට්ටියේ යම් යම් ප්‍රමාණයක් පොතු තිබේද,
එවැනිම ප්‍රමාණයක් ජලයද එකතු කරන්න.
උදාහරණය :- මුට්ටියේ අඟල් පහක් උසට එම කැබලි පවතී නම් අඟල් දහයක් වන සේ ජලය එකතු කරන්න.
ඉන්පසු විටින් විට කාරු ගාමින් පෙනදමා උතුරන්න එනතෙක් ටිකක් සැර ගින්න දෙන්න. උතුරන්න එන විට මඳ ගින්නේ රත් කරන්න. යම් විටෙක ජලයේ ප්‍රමාණය පොතු මට්ටමට ආවිට ඒ පොතුවල ජලය කිරි පෙරන ප්‍රමාණයේ ටිකක් ලොකු සිදුරු ඇති ගොට්ටකින් පෙරා වෙනත් භාජනයකට වෙන්කරගන්න.
ඉන්පසු නැවතත් අලුතින් පෙර සඳහන් කළ ප්‍රමාණයටම ජලය එකතු කර පොතු දක්වා හිඳුනු පසු නැවත ඒ ජලය අර කලින් භාජනයටම පෙරා ඉවත්කර අයෙත් කලින් පරිදි එයටම ජලය එකතු කරන්න. මෙසේ පස්වරක් හෝ උපරිම සත් වරක් කරන්න. ඉන්පසු අර පොතු ඉවත්කර,
අර පෙරා වෙන්කරගත් ජලය සියල්ලම නැවත බාගෙට බාගයක් හිඳවා ගන්න.
මේ පඬු සකසා ගන්නා කාර්යයට ඔබට දිනක්ම වැය කළ යුතුව ඇත.
╭───────────────────╮
•❖• පඬු පොවන ආකාරය. •❖•
╰───────────────────╯
ඩයිගසා හොඳින් වියළාගත් චීවරය අඟල් හයේ දිග පටියක් සේ නමා රෝල් කර එහි එක කොනක සිට ජලය නො මිශ්‍ර අතින් ටික ටික ඉසිමින් ( පඬු වලට නැවත ජලය එකතු නොකළ යුතුය. එවිට පඬු නරක් වේ. ) පඬු පෙවිය යුතුය. එක කොනක සිට දිග හරිමින් පඬු පොවන අතර, පඬු පෙවූ කොනද නැවත එතිය යුතුය.
තවත් පැහැදිලි ලෙස කිවහොත්, එක කොනකින් දිග හැරෙද්දී අනික් කොනින් නැවත එතිය යුතුය. මෙසේ දෙපැත්ත මාරු කරමින් ටික ටික තෙත්කරමින් පඬු ගසා චීවරයේ පඬු බේරී වැක්කෙරෙන්න වගේ මට්ටමට ආ විට පඬු ගැසීම නැවතිය යුතුය.
👉 ඉන්පසු මඳ අව්වේ වියළිය යුතුමය. නැති නම් චීවරයෙහි දැඩි පැල්ලම් සහිත ඝන ගතියක් ඒ.
👉 එසේ උවහොත් නැවත එක වරක් ඇල් ජලයෙන් ඉතා තදින් නො අතුල්ලා සේදිය යුතුය.
මෙසේ නිවන් මඟ වඩනා අෂ්ඨාර්යපුද්ගල මහා සංඝරත්නය උදෙසා අපමණ සැදැහෙන්.
සෝමනස්ස සහගත ඤානසම්පයුත්ත මහග්ඝත ත්‍රිහේතුක
කුශල චිත්තයෙන් සකසා ගත් මේ මහත් වූ සාරාණිය කඨින චීවර පූජාව සිදුකරගන්නා සේක්වා..!
අපට හැකිනම් ඩයි භාවිතයකින් තොරව සම්පූර්ණයෙන්ම චිවරයම පඬු භාවිතා කරමින් පඬු පෙවීමට එය ඉතාමත් ශ්‍රේෂ්ඨ උතුම්ම කාරණයකි.
මෙම අසිරිමත් පඬු පෙවීමේ පින්කම් මාලාවෙන් රැස්කරගන්නා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ සඳහා අපමණ කැපවීමෙන් වෙහෙස මහන්සි වී කටයුතු සිදුකළ රුසිරු , සමන් , විදුර ඇතුලු සසුන්කෙත දකුණේ සියලු කල්‍යාණ මිත්‍ර පිරිසටද ඇතුලු එම පවුල් වල සියලු පිරිසටද , අතිපූජ්‍ය ඇඹිලිපිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේ සහ ධම්මදස්සී ස්වාමින් වහන්සේ ඇතුලු සෙනසුනේ වැඩ වසන සියලු ස්වාමින් වහන්සේලා ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද, මේ සඳහා විනයාණූකූලව ධර්මයෙන් අනුශාසනා කරන පින්වත් බලංගොඩ රාධ ස්වාමින් වහන්සේටද , පින්වත් විනය සෝභන ස්වාමින් වහන්සේටද ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද , “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළට ද , පින් කැමති සියල්ලටම ද මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර , සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා ! 🙏
වස් කාළය තුළ චීවර පඬු පෙවීම පිණිස පඬු අවශ්‍ය විහාරස්ථාන තිබේනම් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළ සම්බන්ධ කර ගන්න.
තෙරුවන් සරණයි !
🌹 සාදු ! සාදු ! සාදු ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
Web Site:-sasunketha.org
Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.