ධර්ම දානයෙහි සහ අටුවා පූජාවන්හි ආනිසංස.
බණ කියන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් කෙරෙන අකුසල් වලින් තොරව කය සංවරව පවතී. වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව වචනය සංවරව පවතී. එසේ කය වචන දෙක සංවර වීමෙන් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද , ථීන මිද්ධ , ව්‍යාපාද , උද්ධච්ඡ කුක්කුච්ඡ , විචිකිච්ඡා නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල , සමාධි , ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්රත්යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීමෙනුත් සිය ගණන් දහස් ගණන් එකවර මාර්ග ඵල අවබෝධ කොට නිවන් දුටු බව ත්‍රිපිටකයෙහි නොයෙක් තැන සඳහන්ව ඇත.
යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්‍රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහළ වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්‍රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්‍ය ලෝකයෙහිත් මනුෂ්‍ය ලෝකයෙහිත් අප්‍රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවාලූවාක්මෙන් අප්‍රමාණ වූ සුගති සංඛ්‍යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි.
පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය.
──────── ⎈ ────────
නව කපපං සුත ධමමං
අට්ඨ කපපං ච යාචිතො
එක කපපං අනුමොදනතුං
දෙසිතො ච අසංඛයො
──────── ⎈ ────────
ධර්මය ඇසීමෙන් නව කල්පයක් ද ධර්මය දේශනාවට ආරාධනා කිරීමෙන් අට කල්පයක් ද එහි පින් අනුමෝදන් වීමෙන් එක් කල්පයක් ද ධර්ම දේශනා කිරීමෙන් කල්ප අසංඛ්‍යයක් ද සුගතියෙහි සැප ලැබෙන බව එයින් කියවේ.
අටුවාවෙහි එසේ කීවද ධර්ම දානයෙහි ආනිසංස සීමාකර කිව නොහැකි වන්නේමය.
──────── ⎈ ────────
සදධමම දේශනා කාලෙ
සාධු සාධුති හාසනො
මුඛතො වායතෙ ගනෙධා
උපපලංව යථොදකෙ
──────── ⎈ ────────
ධර්ම දේශනා කරන කාලයෙහි ධර්මාලම්බන ප්‍රීතියෙන් සාදු ! සාදු ! යැයි කීමෙන් උප නූපන් ජාතියෙහි කටින් මහනෙල් මල් සුවඳ හමන්නේය යනු එහි අදහසය.
ධර්ම ශ්‍රවණය කරන්නාට එසේ නම් ධර්මය දේශනා කරන්නාට කෙබඳු විපාක ලැබිය යුතු දැයි සලකා ගත යුතුය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර නොහැකිය.
ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු , පසේබුදු , මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද , ඒ චීවර දානමය පින්කමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද , “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු , පසේබුදු , මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .
සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු , පසේබුදු , මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පින්කම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද , එසේම ලෝවාමහාපාය වැනි ප්රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.
අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පින්කමක් සිදු කෙරේ නම්, ඒ ධර්ම දානමය පින්කම ම දානමය පින්කම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.
එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්‍ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින් ද ධර්ම දානමය පින්කම ම සියලු දන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දියබිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම ය පින ම සියලු දාන ම ය පින්කම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය.
බොහෝ සූත්‍ර දේශනා ආරම්භයේම ඇති “එවං මෙ සුතං” “මා විසින් මෙසේ අසන ලදි” යන පාඨය ආනන්ද මහ රහතන් වහන්සේගේ ප්‍රකාශයක් බව කියන්නේ අටුවාවේය. එය නොවන්නට “මේවා පසුකලෙක කවුරුන් හෝ තමාට ඇසුණු ජනප්‍රවාද අනුව ලියූ ග්රන්ථ” යැයි අන්‍යාගමිකයෝ චෝදනා කරනු ඇත. එය වළකින්නේ අටුවාව නිසයි.
රතනසූත්රාදී ඇතැම් සූත්‍ර වලත් , ධම්මපද , ජාතකදේශනා ආදී ඇතැම් ගාථා වලත් නිදානකථා , පද වල අරුත් ආදී කරුණු දක්වා ඇත්තේ අටුවාවේය. අටුවාවෙන් තොරව මේ කිසිවක දේශනා කිරීමේ හේතුව , දෙසුවේ කවුද ? කාටද ? කොහේදිද ? යනාදී කිසි තොරතුරක් දැනගත නොහැකිය.
සම්මුති – පරමාර්ථ, නාම – රූප, ස්කන්ධ – ආයතන – ධාතු – දෙවිසි ඉන්ද්රිය – චතුරාර්ය සත්‍ය – පටිච්චසමුප්පාද ආදී ගැඹුරු කරුණු වල අර්ථ ප්‍රකට කරන්නේ අටුවාවෙනි. අටුවාවන්ගෙන් තොරව මෙබඳු බොහෝ තැනක අරුත් ගත නොහැක. මෙකල බොහෝ දෙනෙක් මෙම අරුත් පටලවා ගන්නේ අටුවා-ටීකා භාවිත නොකිරීම හා ඒවා භාවිතයට නොදන්නා නිසාවෙනි. තමන් ගන්නා වැරදි අදහස තවත් බුද්ධදේශනා සමග එකඟ නොවන බව ඇතැමුන්ට තේරුම් යන්නේ කලක් ගතවන විටය. එවිට තමාගේ තත්වය රැකගැනීමට එම බුද්ධදේශනා ද ප්‍රතික්ෂේප කිරීමට තරම් ඇතැම්හු සැහැසි වෙති. මෙයින් අපමණ අකුසල් රැස්කොට ගෙන අපාගාමී වෙති. එබැවින් පුරාණ උතුමන් දැක්වූ අයුරින් අරුත් විමසා බලන්නේ නම් මෙබඳු ගැටලු සියල්ල විසඳෙනු ඇත.
“සබ්බිත්ථියො කරෙ පාපං ලභමානෙ නිවාතකෙ” (ඉඩක් ලබන කල්හි සියලු ස්ත්‍රීහු පවු කරන්නාහුය) යනාදී ජාතක ගාථා අනුව රහත් භික්ෂුණීන් වහන්සේලාත් මෙසේදැයි අන්යාගමිකාදීන්ට වාදකළ හැකිය.
නමුත් මෙහි අටුවාවේ දක්වන්නේ “සබ්බිත්ථියොති ඨපෙත්වා විපස්සනාය තනුකතකිලෙසා සෙසා සබ්බා ඉත්ථියො පාපං කරෙය්යුං.” (සබ්බිත්ථියො යනු විපස්සනාවෙන් කෙලෙස් තුනීකළ ස්ත්‍රීහු හැර සෙසු ස්ත්‍රීහු පවු කරන්නාහ) යනුවෙනි.
“සබ්බෙ තසන්ති දණ්ඩස්ස” ආදී ගාථාවන්හි ද මෙබඳු විග්රහ දක්වා ඇත. මෙබඳු අටුවා පාඨ නොවන්නට බොහෝ දහම්පාඨ විකෘති කරමින් අරුත් දක්වනු ඇත.
දෙවන පරිජි සිකපදයේ දක්වන පාදය යනු කුමක්ද? එහි වටිනාකම කීයද? යනාදී ගැටලු විසඳෙන්නේ අටුවා හා ටීකා වලිනි.
විනයපිටක මහාවග්ග පාළියෙහිදී සීමා සඳහා නිමිති අනුදැනීමේදී පබ්බතනිමිත්ත, පාසාණනිමිත්ත ආදී නිමිති අටක් දක්වන අතර එයින් පබ්බත හා පාසාණ යන දෙකේ වෙනස දතහැකි වන්නේ අටුවාවෙන් හා ටීකා වලිනි. සෙසු නිමිති පිළිබඳව ද කිය යුත්තේ මෙබඳු වූම දෙයකි. මෙබඳු තැන් වෙන්කර දේශනාකිරීමට බුදුරජුන් හැර වෙන කිසිවෙක් සමත් නොවේ. එබැවින් මෙබඳු දේශනා ඒකාන්තයෙන් බුද්ධදේශනාම බව සැලකිය යුතුය.
විතක්කසණ්ඨාන සූත්‍රයේදී යෝගීන්ට ඇතිවන අකුසල් විතර්ක දුරුකර ගැනීමට උපදෙස් දෙන භාග්‍යවතුන් වහන්සේ “ඉධ, භික්ඛවෙ, භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසි කාතබ්බං කුසලූපසංහිතං.” යනාදී ලෙස උපදෙස් දෙන සේක. (යම් භික්ෂුවකට යම් නිමිත්තක් මෙනෙහි කිරීමේදී අකුසල් විතර්ක ඇතිවේද, එයින් අන්‍ය වූ කුසල් විතර්කයක් මෙනෙහි කළ යුතුය යනු එහි සරල අර්ථයයි).
මෙහිදී සියලු කුසලධර්ම සියලු අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ බැවින් කුමක් හෝ කුසලයක් මෙනෙහි කලහැකි නමුත් සවිඤ්ඤාණක (පණ ඇති) දේකට රාගයක් ඇති වූ විට අසුභ මනසිකාරයත්, එබන්දකට ද්වේෂය ඇති වූ විට මෛත්‍රී මනසිකාරයත්, අවිඤ්ඤාණක දේකට ඇල්ම ඇතිවිට අනිත්‍ය සඤ්ඤාවත් එබන්දකට ගැටීම ඇති විට ධාතුමනසිකාරයත් කුමන දේකට හෝ මෝහය අධික විට “ගරූසංවාසො” (ගුරුන් ඇසුරු කිරීම) ආදී කරුණු පහක් පිළිපැදීමෙන් එය දුරුවන බවත් ඒ එකිනෙකක් සිදුකරන අයුරුත් ඉතා පැහැදිලිව අටුවාවේ දක්වා ඇත. බුදුරජුන්ගේ න්‍යායන්ගෙන් තොරව කිසිසේත් මෙබඳු උපදෙස් ලබාදිය නොහැකි බැවින් මෙබඳු අටුවා පාඨ සියල්ල බුද්ධදේශනාම බව දතයුතුය.
අටුවා නැති නම් ධුතංග සමාදානාදිය නිවැරදිව කළ නොහැක, කසිණ වැඩීමාදිය ද නිවැරදිව කළ නොහැක, ඒවායේ විස්තර ඇත්තේ අටුවාවන්හි බැවිනි.
තවත් මෙබඳු තැන් අතිවිශාල ප්‍රමාණයක් මුළු ත්‍රිපිටකය පුරාම දක්නට ඇත. නමුත් නුවණින් විමසන්නන්ට මෙපමණක් සෑහෙන්නේ යැයි සිතමු. දැනටත් වෙනත් බෞද්ධ රටවල පිරිස් ශ්‍රී ලංකාවට ගරු කිරීමට එක් හේතුවක් වන්නේ සියලු පෙළ , අටුවා ග්‍රන්ථත් බොහෝ ටීකා ග්‍රන්ථත් මෙරට වැසි උතුමන් අතින් ලියැවුණු බැවිනි. අටුවාවන්හි දැක්වෙන සිංහල භික්ෂූන්ගේ ගුණ පිළිබඳ ඇති ගෞරවයද තවත් කරුණකි. අටුවා සහිත ත්‍රිපිටකය කටපාඩමින් ධරාගෙන පැමිණි උතුමන් වන දීඝභාණක අභය , ත්‍රිපිටක චූලාභය , ත්රිපිටකචූළනාග ආදී ක්ෂීණාශ්රව උතුමන්ගේ විශ්මයජනක ප්‍රඥාදී ගුණ අටුවාවන්ගෙන් ප්‍රකට වීමාදිය මෙම ගෞරවය ඇතිවීමට තවත් හේතුවකි.
මෙසේ පරම ගම්භීර ධර්ම දානයෙහි ආනිසංස
මැනවින් රැකීමට අටුවාවෙහි ඇති වැදගත්කම මෙසේ දැන ගත් ඔබ අටුවා පූජාව යනු කෙතරම් ආනිශංසදායක ධර්ම දානයක් ද වග දත යුතුයි.
ඉතින් පසුගිය දිනක මහා ආනිසංස ගෙන දෙන,
🔸 පාලි අටුවා ග්රන්ථ පූජාවක් ,
හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව පූජා කිරීමට හැකි වූවා.
✪ මෙම අසිරිමත් ධර්ම දානමය පින්කමෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ..
▪️මෙම අසිරිමත් පූජාව සඳහා අපමණ කැපවීමෙන් යුතුව වෙහෙස මහන්සි වී මූල්‍යමය දායකත්වය දැරූ..
🔸 අදීශ අයියා ඇතුලු එම සියලු මිත්‍ර පිරිසටද ,
මෙම අසිරිමත් ධර්ම දාන පින්කමේ සම්පූර්ණ සම්බන්දීකරණ කටයුතු කළ දර්ශන දිනේශ් මිතුරාටද ,අපමණ කැපවීමෙන් මෙම පින්කමට සම්බන්ධ වෙමින් කැපවීමෙන් යුතුව ප්‍රවාහන පහසුකම් දරමින් ඉතා මහන්සි වූ නුවන් ,සුපුන් , දර්ශන , සමීර , පැතුම් ඇතුලු “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , පින්වත් විහාරාධිපති ස්වාමින් වහන්සේටද , පින්වත් නාරන්ගමුවේ සුදම්ම ස්වාමින් වහන්සේටද , විනය සෝභන ස්වාමින් වහන්සේටද , ඇතුලු සියලු ස්වාමීන් වහන්සේලාට ද , ලෝකවාසී ආර්ය මහා සංඝ රත්නයට ද , මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර, සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා ! 🙏
රටේ පවතින මෙම රෝග බිය දුරු වී මුළු රටටම ඉක්මනින් සෞභාග්‍ය උදාවේවා ! 🙏
තෙරුවන් සරණයි !
🌹 සාදු ! සාදු ! සාදු ! 🌹
──────⊱❂⊰──────
❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ පින්කම් සඳහා සම්බන්ධ වීමට..
⚜ එක් වන්න අප සමග ⚜
Web Site:-sasunketha.org
Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group:-https://www.facebook.com/groups/1715908338447393
Follow us on Instagram :-https:/www.instagram.com/sasunketha/
You tube :-https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.